1886 වර්ෂයේ නොවැමබර් මස 15 වන දින මෙම පාසල ආරම්භ කර ඇත.ඊට පෙර දැනට ඇති පාසල් භූමියෙහි බාලිකාවන් සදහා පන්ති කාමර කිහිපයකුත් ඊට යාබදව නැගෙනහිරින් පිහිටි ඉඩමේ බාලක පන්ති කාමර කිහිපයකුත් පැවති බව කටවහරේ පවතී.දැනට කොලොන්න ප්‍රාථමික විද්‍යාලය පවත්වාගෙන යන ඉඩමේ විදුහල නිල වශයෙන් ආරම්භ කර ඇත්තේ 1886 වසරේ නොවැම්බර් මස 15 වන දිනය.මේසදහා ඉඩම ලබාදී ඇත්තේ ජේ.ඩබ්.මඩුවන්වෙල මහ දිසාවේ නොහොත් රටේ මහත්මයාය.මැටි වරිච්චියෙන් තැනූ ඉලුක් වලින් සෙවිලි කරන ලද එකම ගොඩනැගිල්ල පිහිටියේ දැනට මෙම විද්‍යාලයේ ගුරු නිවස ඇති කොස් ගස් දෙක අතරය.මෙහි පහ ශ්‍රේණිය දක්වා පන්ති තිබූ අතර සිසුන් 25 ක් අධ්‍යාපනය ලබා ඇත.මේ ආතාරයට ආරම්භය සිදුවී ඇතත් පාසලේ වාර්තාගත ඉතිහාසයක් ඇත්තේ 1925 වසරෙන් පසුවයි.එකල මුල් ගුරුවරයා වූයේ දන්තනාරායන නම් වූ මහත්මයාය.ඉන්පසු 1925 වර්ෂයේ මෙහි ශිෂ්‍ය සංඛ්‍යාව 75 ක් වී ඇති අතර ගුරු සංඛ්‍යාව දෙදෙනෙක් විය.1929 වර්ෂයේදී පාසලට ජලය ලබා ගැනීම සදහා ළිදක් ඉදිකරන ලදී.1959 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 300ක් පමණ සිටි අතර අඩි 25X15 ගොඩනැගිල්ලක්ද තිබී ඇත.පසුව ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වීමත් සමග මෙම ගෙිඩනැගිල්ල 50X15 දක්වා විශාල කර ඇත.ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වීමත් සමග මෙම භූමිව ප්‍රමාණවත් වී නොමැත.දැනට ප්‍රාථමික විද්‍යාලයේ භාවිතා වන ක්‍රීඩා පිටිය සහිත භූමිය වෙනම පැවැතී ඇති අතර ඉඩකඩ අර්බුදයට පිලියමක් වශයෙන් මෙම භූමිය විද්‍යාපයට ලබා ගත යුතුයැයි ගුරු දෙගුරු සමිතියේ අදහස විය.නමුත් එම ඉඩම සදහා අයිතිවාසිකම් පනවමින් හිටපු තැපැල් ස්ථානාධිපති,හදිසි මරණ පරීක්ෂක හා ගම් සභාපති මුහනිදිරම් සී.පී. බුලත්සිංහල මහතා ඊට විරුද්ධ වූ නිසා ගුරු දෙගුරු සමිතියට ඹහු සමග නඩු කීමට සිදු විය.එම සමිතියේ උත්සාහය නිසා රත්වාන අධිකරණයේදී මෙම භූමි කොටස විද්‍යාලයට හිමි විය.මෙවන් අරබුදකාරී අවස්ථාවක පාසලේ අනාගත අභිවෘද්ධිය කෙරෙහි සිත්යෙමු කල ප්‍රදේශයේ දුප්පත් ගොවියෙකු වූ දිසානායක ඩිංගි අප්පුකරනහාමි මහතා තමා සතු ඉඩම් කොටසක් සිය කැමැත්තෙන් විද්‍යාලයට පරිත්‍යාග කිරීම අප කාගේත් ගෞරවයට පාත්‍ර විය යුතු වැදගත් සිද්ධියකි.ප්‍රාථමික විද්‍යාලයේ බුදු මැදුර,අංක 3,5 සහ 6 ශාලා ඉදිකර ඇත්තේ එම භූමිය තුළය.1955 වර්ෂයේ අ.පො.ස සා/පෙළ පන්ති ආරම්භ කළ අතර 1958 වර්ෂයේ අ.පො.ස සා/පෙළ විභාග සදහා එක් ශිෂ්‍යාවක් ඉදිරිපත් වූ අතර එකම අයදුම් කරුවාද ඇයම විය.එවකට පාසලේ භෞතික සම්පත් ලෙස පැවතිය් ගොඩනැගිලි පමණක් බව ලේඛණ වලින් පෙනී යයි.මෙම විද්‍යාලයේ ප්‍රථම පුහුණු ගුරුවරයා වූයේ කරුණාරත්න නැමැති මහත්මයෙකි. මොහු ගම්වාසීන් විසින් තවමත් හදුන්වනු ලබන්නේ ට්‍රේනිං මහත්මයා යනුවෙනි.පාසල මහා විද්‍යාලයක් බවට පත්වී ඇත්තේ 1965 වසරේ පෙබරවාරි 10 වනදාය.එකල විදුහල්පතිතුමා වූයේ පියදාස රාජපක්ෂ මහතාය.මෙම කටයුත්ත අධ්‍යාපන ඇමැති පී.බී.සී.කළුගල්ල මහතා යටතේ සිටි සමාජ සේවා උප ඇමැති ආනන්ද සිරිසේන මහතා විසින් සිදුකර ඇත.එකල විද්‍යාලයේ ගොඩනැගිලි 3ක් හා ගුරු නිවාසයක් තිබුණී.අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 526ක් බව වාර්තාගත තොරතුරු වලින් අණාවරනය වේ.මෙම විද්‍යාලයේ අ.පො.ස උ/පෙළ පන්ති ආරම්භ කරනු ලැබුවේ 1966 වර්ෂයේය.කලා අංශයෙන් පමණක් ආරම්භ කරන ලද මෙම පන්තිවල සිසුන් 5 දෙනෙක් අධ්‍යාපනය ලබා 1968 දී ප්‍රථමයෙන් විභාගයට ඉදිරිපත් විය.මෙයින් තිදෙනෙකු සරසවි වරම් ලැබීය.1980 දශකයේදී මෙම පාසල් භූමිය ඉඩකඩ පුමාණවත් නොවීම නිසා මහජන ක්‍රීඩාංගනය අසල මෙම පාසලේ කාටසක් ඉදිවිය.මුලින් ප්‍රාථමික අංශය එහි ස්ථාපනය කරතිබූ අතර පසුව එය වෙනස් විය.මෙවන් ගමනක යෙදුනු අප විද්‍යාලය පර්ෂද පූලස්ථ මහා විද්‍යාලය ලෙසද නැවත් 1993 සිට කොලොන්න ජාතික පාසල ලෙසද ප්‍රෙද්ශයේ විශිෂටතම පාසල ලෙස ප්‍රසිදධ විය.2012 වර්ෂයේදී දිවයින පුරා ක්‍රියාත්මක වූ පාසල් 1000 ව්‍යාපෘතිය යටතේ මෙම කොලොන්න ජාතික පාසල ප්‍රාථමික අංශය හා ද්විතියික අංශය ලෙස කොටස් දෙකකට බෙදා ප්‍රාථමික අංශය පාසල් ආරම්භක ස්ථානයේද ද්විතියික අංශය මහජන ක්‍රීඩාංගනය අසල භූමියේද පාසල් දෙකක් ලෙස ස්ථාපනය කෙරුණි.එම පාසල් දෙක ර/කෙලොන්න ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය හා ර/කොලොන්න ජාතික පාසල ලෙස නම් කෙරිණි.දැන් අපට සිප් සතර ලබාදෙන කීර්තිමත් කොලොන්න ජාතික පාසලේ ඉතිහාසය ඉහත දක්වා ඇත.